NEWS AND BLOG

Ceylon Estate Staffs' Union (CESU)


ජනවසමට එරෙහි විරෝධතාව, සාකච්ඡා අසාර්ථක වූ නිසයි

5% ට බැරියර් දාන්නෙ ඉහළ නිලධාරියෙක්

ලංකා වතු සේවා සංගමයේ සභාපති - නිශාන්ත වන්නිආරච්චි

ප්‍රාදේශීය වැවිලි සමාගම් සමග ප්‍රධාන සාමූහික ගිවිසුම අත්සන් කිරිමෙන් පසුව රාජ්‍ය වැවිලි සංස්ථාව සමග සාමූහික ගිවිසුම අත්සන් කළා. ඇයි ජනවසම සමග සාමූහික ගිවිසුම අත්සන් කිරිම ප්‍රමාද වුණේ ?

ලංකා වතු සේවා සංගමය ජනවසම සමග මෙපමන කාලයක් සාමූහික ගිවිසුම අත්සන් කළේ ඊට පෙර ප්‍රාදේශිය වැවිලි සමාගම් සමග අත්සන් තබන ප්‍රධාන ගිවිසුම පාදක කරගෙන. අපි මුලින්ම ඉල්ලිම් අඩංගු යෝජනාවලියක් ඉදිරිපත් කළා. සාමාන්‍යයෙන් කෙරෙන්නෙ ඒක සම්බන්ධයෙන් දෙපාර්ශවය සාකච්ඡා කරල එකඟත්වයකට ඇවිත් ගිවිසුම අත්සන් කරන එක. මෙදා පාර ජනවසමෙ ඉහළ නිලධාරින් දෙන්නෙක් මේක අධ්‍යනය කරන්න ඕන කියල යෝජනාවලිය තියා ගෙන කල්මරනව. අපි ඉදිරිපත් කරපු යෝජනාවලියේ සඳහන් ඉල්ලීම් කිහිපයකටම ඔවුන් එකඟතාව පල කළේ නැහැ. අපිත් ඒ සමහර කාරණා සම්බන්ධයෙන් නම්‍යශීලී වුණා. ඒත් ප්‍රධාන ගිවිසුමෙන් 2024 දි ලබා දෙන්න වැවිලි සමාගම් එකඟතාව පලකර තිබෙන 5% ලබා දෙන්න බෑ කියන තැනයි ඔවුන් ඉන්නෙ. ඇත්තටම 25% සහ 5% නොවෙයි ඊට වැඩි වැටුප් වැඩිවිමක් ලැබිය යුතු තරම් අයහපත් ආර්ථික වටපිටාවකයි අද අපි ඉන්නෙ.


මේ ප්‍රමාදයට හේතුව සංගමය වැඩිපුර ඉල්ලීම් ඉදිරිපත් කිරිම බව ජනවසම කියා සිටිනවා ?

යෝජනාවලියක් කියන්නෙ මොකක්ද කියන එක ගැන අනවබෝධයෙන් ක්‍රියා කිරීමයි මේකට හේතුව හැටියට අපිට පේන්නෙ. තේරුම් ගන්න ඕන ඒකෙ තියෙන්නෙ අපි අවසාන ගිවිසුමට ඇතුලත් කරන්න බලා පොරොත්තු වෙන දේවල්. ඒවා ගිවිසුමට ඇතුල් කරන්නෙ සාකච්ඡාවලින් පසුව දෙපාර්ශවයේ එකඟතාව අනුව. ගිවිසුමකට එළඹෙන ආකාරය ගැන මූලික කාරණා දන්නෙ නැති වුණාම ඔය වගේ කතා ඇහෙනව. මේ ගිවිසුම අත්සන් කිරිමට ප්‍රමාද විමට හේතුව ජනවසම විසින් සංගමයෙන් ඉල්ලා ඇති විස්තර ලබා නොදිම කියලත් ඔවුන් චෝදනා කරනව. අපි අවශ්‍ය සියලුම තොරතුරු ලබා දීලයි තියෙන්නෙ. ගිවිසුම කෙටුම්පත් කරන්න කළින් දෙන යෝජනාවලිය එහි ප්‍රධානම ලිඛිත ලියවිල්ල. ඒ වගේම අවශ්‍ය පැහැදිලි කිරිම් සාකච්ඡාවලදි සිදු කර තියෙනව. හැබැයි අපිට ඉතා හොඳින් පේනව වතු කාර්ය මණ්ඩල සාමාජිකයින්ට සාධාරණය ඉටුවන ආකාරයේ ගිවිසුමක් අත්සන් කරන එක වලක්වන්න උත්සාහ කරන නිලධාරීන් දෙදෙනෙක් මෙහි ඉන්නව. දැන් එක් අයෙක් ගෙදර. රාජ්‍ය වැවිලි සංස්ථාවට ගිහින් ඔවුන්ට නොක්කාඩු කියල තියෙනව ඇයි අපේ කොන්දේසි පිළිගෙන ගිවිසුම අත්සන් කළේ කියල. මෙතන තියෙන්නෙ ද්වේෂසහගත මැදිහත් විමක් කියලයි අපිට හිතෙන්නෙ. ජනවසමේ වතු කාර්ය මණ්ඩලයට ලබා දිපු වාර්ෂික වැටුප් වර්ධකය නැවත අය කරගන්නත්, ඒ වැටුප් වර්ධකය ලබා නොදෙන්නත් වරක් මේ නිලධාරීන් සූදානම් වුණා. අපේ ප්‍රධාන ලේකම් සහෝදරයා ඒ අනීතික ක්‍රියා මාර්ගයට විරුද්ධ වෙලා ඒ සැළසුම පරාජය කළා. ඔවුන් ඒකට උත්තරයක් එව්වා සානුකම්පිතව සළකා බලා එය නැවත අයකර ගන්නේ නැති බවත් වැටුප් වර්ධකය දිගටම ලබා දෙන බවත් කියල. මේකට අපේ සංගමය සැර උත්තරයක් දුන්නා. මේ 5% හේ ඉල්ලීමට බැරියර් දාන්නෙ ඒකෙන් රිදිච්ච අය. අපි කියන්නෙ අනීතික ලෙස වැටුප් වර්ධක 25ක් දෙන්න කියල නෙවෙයි. ජීවත් වෙන්න පුළුවන් මට්ටමේ වැටුප් වැඩිවීමක් දෙන්න කියල.


ජනවසම මූල්‍ය අර්බුදයකට මුහුණදි සිටින බව කියනව. එවැනි තත්ත්වයක් තුළ මේ වගේ ඉල්ලීමක් ඉදිරිපත් කිරිම සාධාරණද ?

ජනවසම මූල්‍ය අර්බුදයකට මුහුණ දුන්නෙ පෙර කළමණාකාරිත්වයේ වරදින්. ඒ බව අපි කරපු සාකච්ඡාවලදි අහන්න දකින්න ලැබුණා. නමුත් වර්ථමාන සභාපතිවරයා ආවට පස්සෙ ඒ තත්ත්වයේ වෙනස්කම් ඇති කර තිබෙන බව කියනවා. කිසියම් ක්‍රමවේදයකට අනුව ඒ තත්ත්වයෙන් ගොඩ එන්න කටයුතු කරන බව එතුමා සහභාගී වුණු රූපවාහිනී වැඩ සටහනකදි සඳහන් කරනු අපි දුටුවා. අපිට 25%ක වැටුප් වැඩිවිමක් ලබා දෙන්න එතුමා එකඟ වුණේ මේ අලුත් තත්ත්වය යටතේයි. ඒ වගේම එතුමා ඒ එකඟතාව පළ කළේ ගිවිසුම් ප්‍රකාරව මිසක් අනිතිකව නොවෙයි.

ප්‍රධාන ගිවිසුමට අනුව මේ 5% ලැබෙන්න ඕන 2024 ඔක්තෝබර් මාසයේ දී, ඒ කියන්නෙ තවත් මාස 16ක් ඉදිරියට තියෙනව, ඇයි දැන්මම විරෝධතා දක්වන්නෙ ?


දැනටමත් මේ ගිවිසුම අත්සන් කරන එක මාස හතක් ප්‍රමාදවි තිබෙනව. ගිවිසුම අත්සන් කිරිම සහ ඒ ගිවිසුමට මේ කරුන ඇතළත් කර ගැනිමයි අපේ සාමකාමි විරෝධයේ අරමුණ වුණේ. 2024 ඔක්තෝබර් මාසෙ ඉඳල තමයි 5% ගෙවන්නෙ කියන කාරනය අපි දන්නව. ඒක ගිවිසුමට ඇතළත් කරල ගිවිසුම අත්සන් කරන්නයි අපිට ඕන. අනිත් හැම ගිවිසුමකම ඒ කරුණ සඳහන්ව තිබෙනවා. සාකච්ඡාවලදි අපි මේ බව අවධාරණය කරල තියෙනව. සාකච්ඡා වලින් අපිට පිළිගත හැකි පිළිතුරක් නොලැබුණු නිසයි මේ ක්‍රියාමාර්ගයට ගියේ.


මේ වැටුප් වැඩි කිරිම හේතුවෙන් ජනවසමෙ විධායක ශ්‍රේණිවල අයගෙ වැටුප් විෂමතාවක් ඇති වෙන බව ජනවසම සාමාන්‍යාධිකාරීවරයා කියනව ?

වැවිලි ක්ෂේත්‍රයේ කම්කරුවන්ට, විධායක නොවන කාර්ය මණ්ඩලයට සහ විධායක ශ්‍රේණිවලට වෙනවෙනම වැටුප් තළ තියෙනව. විධායක ශ්‍රේණිවල වැටුප් විෂමතාවක් ඇතිවෙනව ඒ නිසා අපිට වසර තුනකට සැරයක් සාමුහික ගිවිසුමෙන් ලැබෙන වැටුප් වැඩිවිම දෙන්න බෑ කියනව නම් ඒක මෝඩ තර්කයක්. පළමු වතාවට ජනවසම කාර්යාලයේ වැඩ කරන අයගෙ වැටුප එක්කත් මේක සන්සන්දනය කරල තියෙනව. ඔවුන්ට තියෙන්නෙ වෙනත් වැටුප් තල. ඒ ගොල්ලන්ට රජයේ වැඩි කිරිම් අදාල වෙනව. අපි ඉල්ලනවද ඒ වෙලාවට අපිටත් වැඩි කරන්න කියල. වතුවල කාර්ය මණ්ඩලයට නොලැබෙන වරප්‍රසාද ඔවුන්ට ලැබෙනව. මේ බොරු සංසන්දනය කිරිම් වැඩක් නෑ. අපේ අය අවුරුදු ගාණක් වැඩ කරල ලබා ගත්තු වැටුප තමයි ඔවුන්ට දැනට ලැබෙන්නෙ. ඇත්තටම ඒක වුණත් අද ආර්ථිකයට කොහෙත්ම ප්‍රමාණවත් නැහැ. ඔවුන් කියන විදියට සභාපතිගෙ, උප සභාපතිගෙ, සාමාන්‍යාධිකාරීගෙ සහ වතු අධිකාරී, උප වතු අධිකාරි, ප්‍රධාන කාර්යාලයේ කළමණාකරුවන් කියන ශ්‍රේණිවල වැටුප් පහත වැටෙනව නම් කළ යුත්තේ අපිට ලැබෙන එක වලක්වන එක නොවෙයි ඒ ගොල්ලන්ටත් වැඩි කරල දෙන එක. අර කතාවක් තියෙනව සපත්තුවෙ ගානට කකුල නොකපා කකුලට ගැලපෙන සපත්තුවක් ගන්න කියල. ඒක තමයි අපිට මේ ගැන කියන්න තියෙන්නෙ.


ලංකා වතු සේවා සංගමය වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා මුණගැසී ජනවසම ගිවිසුම ගැන සාකච්ඡා කළ අවස්ථාවෙ මේ ඉල්ලීම ඇමතිවරයාගේ අප්‍රසාදයට ලක්වු බව ජනවසම සාමාන්‍යාධිකාරිවරයා කියනව. මේක ඇත්තද ?

කිසිසේත්ම එවැන්නක් වුණේ නැහැ. වැවිලි කර්මාන්ත විෂයභාර අමාත්‍යවරුන් සමග අපේ සංගමය දීර්ඝකාලයක ඉඳන්ම ඉතාම හොඳ සමිප සබඳතාවක් පවත්වනව. මොකද මේ ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් වැඩ කරන කොටසක් හැටියට අපට එහෙම කරන්න වෙනව. ලංකාවෙ අවුරුදු සියයක් සම්පූර්ණ කරපු, අභිමානවත් ලෙස ඒ සියවස සමරපු වෘත්තීය සංගමය අපි. ඒ සියවස් සැමරුමේ ප්‍රධාන ආරාධිතය වුණෙත් වර්ථමාන විෂය භාර අමාත්‍යවරයා. අපි පසුගිය දිනෙක අමාත්‍යවරයා මුණ ගැසුනෙ සංගමයේ අපේ සාමාජිකයින්ට බලපාන ප්‍රශ්ණ කිහිපයක් එතුමගෙ අවධානයට යොමු කරන්න. එතනදි අපි ජනවසමෙ ගිවිසුම ගැනත් එතුමා සමග කතා කළා. ඉතාමත්ම සාවධානව ඊට සවන් දුන්නු අමාත්‍යවරයා අපි ඉදිරියෙම ජනවසම සභාපතිට දුරකතනයෙන් කතා කරල කිව්ව මේ ගැන නැවත සාකච්ඡා කරල විසඳුමක් දෙන්න කියල.


ඔබගේ සංගමයේ සාමාජිකයින් විශාල පිරිසකට ජීවන මාර්ගය සලසන ජනවසමට විරුද්ධව මේ ආකාරයෙන් ක්‍රියා කරන එක සාධාරණද ?

අපි වෘත්තීය සමිතියක්. අපේ සාමාජිකත්වයේ වැටුප් හා සේවා කොන්දේසි වෙනුවෙන් සටන් කිරිම සහ ඔවුන්ට වඩා යහපත් ජීවන තත්ත්වයක් ඇතිකර දිම සඳහා ක්‍රියා කිරිම අපේ මූලික වගකීම. පසුගිය දිනවල ජනවසම වතුවල කරපු සංචාරයකදි අපි දැක්කා අපේ සාමාජිකයින් ගත කරන දුක්ඛිත ජිවිතය. දුෂ්කර ස්ථානවල, අවම පහසුකම්වත් නැතිව ඔවුන් කරන කැපවීම ඉතාම ඉහළයි. ඒ වගේ තත්ත්වයක් යටතේ මේ 5% දෙන්න බැහැ කියන එක සාධාරණයිද ? හරි විදියට නම් ඊට වඩා වැටුපක් දිල ඔවුන් දිරිමත් කරන එකයි කල යුත්තේ. පාලකයින් සාකච්ඡා මගින් විසඳුම් දෙන්න සූදානම් නැතිනම් වෘත්තීය සමිතියක් හැටියට ඔවුන්ට යම් හෝ සහනයක් ලබා ගැනිම සඳහා වෙන මොකක්ද අපි කළ යුත්තේ.


කෑගල්ල, මස්කෙළිය සහ නමුණුකුළ වැවිලි සමාගම් මේ ගිවිසුම අත්සන් නොකරපු එක ගැන නිහඬව ඉඳගෙන ඇයි ජනවසමට විරුද්ධව සාමාජිකයින් මෙහෙය වන්නෙ ?

ජනවසම සාමාන්‍යාධිකාරිවරයා වතු අධිකාරිවරුන් මගින් අපේ සාමාජිකයින් අතට පත් කරපු ලියවිල්ලක ඔය කතාව කියල තියෙනව. ඔහු ඒ ගැන දන්න තරම තමයි ඒ. සේව්‍ය සම්මේලනය සමග අපේ සංගමය අත්සන් කරන මේ සාමුහික ගිවිසුම අපේ රටේ සාමූහික ගිවිසුම් ඉතිහාසයේ පැරණිතම ගිවිසුමක්. ඒක කාර්මික ආරවුල් පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව සකස් කෙරෙන ගිවිසුමක්. ඒකෙන් පිට පනින්න කාටවත් බෑ. මේ සමාගම් ගිවිසුමට අත්සන් නොකළත් ඒ සමාගම් වතු කාර්ය මණ්ඩලයට ගිවිසුම්ගත වතු සමාගම් ගෙවන වැටුප් වැඩිවීම ලබා දෙනව. ඒත් ඒ ලබා දෙන ක්‍රමය පිළිබඳව ගැටළුවක් තියෙනව. ඒ ගැන කම්කරු කොමසාරිස් ජනරාල් වෙත සංගමය කරපු පැමිණිල්ලකට අනුව කම්කරු කොමසාරිස් ජනරාල් විසින් නියෝගයක් දුන්නා ගිවිසුමෙන් වැඩිකළ වැටුප, මාසික වැටුපට එකු කරල ගෙවන්න කියල වතු සමාගම් ඒ සම්බන්ධයෙන් ඇපෑලක් ඉදිරිපත් කර තියෙනව. මේ ගැන වැඩිදුර කතා කරන්නෙ නැහැ අධිකරණයේ නඩුවක් පවතින නිසා.


හොඳයි මේ සම්බන්ධයෙන් සංගමයේ ඉදිරි ක්‍රියාමාර්ග මොනවද ?

ඒ ඉගැන අපි ඉදිරි දිනවල අපේ සාමාජිකයින්ට දැනුම් දෙනව. ජනවසම සභාපතිතුමා සමග කළ සාකච්ඡාවකින් පසුව අපි අපේ විරෝධතාව තාවකාලිකව නතර කළා. ඔහු කියා සිටියා මේ ගැටළුව සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් ලබා දෙනව කියල. අපි ඔහුව විශ්වාස කරනව. අපේ සාධාරණ ඉල්ලීම කෙරෙහි ඉක්මනින් අවධානය යොමු කරල මේ ප්‍රශ්ණයට අපට පිළිගත හැකි උත්තරයක් දෙයි කියල. එහෙම නොවුනොත් දැඩි විරෝධයකට යන්න සංගමය පසුබට වෙන්නෙ නැහැ.

සාකච්ඡා කළේ
රෝහණ සමන්තැන්න

We call you back

Request a Call

Success! Your message has been sent to us.
Error! There was an error sending your message.

Save your career

Talk to a Specialist

CESU has been playing a leading role in many struggles of the working class and organizations of Civil Societies in Sri Lanka.

+94 112 573 948 info@cesusrilanka.org