ට්‍රැක්ටරය පෙරලීමෙන් මියගිය
සමාගමෙන් අවමංගල්‍ය කටයුතුවලට ලක්ෂ දෙකක්
කොටගල වැවිලි සමාගම යටතේ පාලනය වන මවුන්ට්වර්නන් වතුයායේ රියදුරෙකු ලෙස සේවය කළ, ලංකා වතු සේවා සංගමයේ සාමාජික සී.සී. එඩ්වඩ් මහතා රාජකාරි කටයුත්තක් සඳහා ට්‍රැක්ටරය පදවමින් සිටියදී රථය පෙරලී මියගොස් ඇති අතර මේ සම්බන්ධයෙන් වහා සොයා බලා තම සාමාජිකයාට සහ ඔහුගේ යැපෙන්නන්ට සාධාරණය ඉටු කරන ලෙසට ලංකා වතු සේවා සංගමය කොටගල වැවිලි සමාගමේ පාලනාධිකාරිය වෙත දන්වා ඇත.
මියගිය එඩ්වඩ් මහතා පැදවූ රථය දීර්ඝ කාලයක් තිස්සේ අවශ්‍ය අලුත් වැඩියා කිරීම් සිදු නොකරන ලද අබලන් තත්වයේ තිබූ රථයක් බවට තමන්ට තොරතුරු වාර්තාවී ඇති බවත් ඒ හේතුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ තම සාමාජිකයාට යුක්තිය ඉටුකරනුවස් ඔහුගේ යැපෙන්නන්ට සාධාරණ වන්දි මුදලක් ලබා දෙන ලෙස ලංකා වතු සේවා සංගමය කොටගල පාලනාධිකාරියෙන් ඉල්ලා තිබේ.
මේ කරුණ සම්බන්ධයෙන් ලංකා වතු සේවා සංගමයේ සභාපති නිශාන්ත වන්නිආරච්චි මහතාගේ උපදෙස් මත ප්‍රධාන ලේකම් රොබට් ෆ්‍රැන්සිස් මහතා විසින් කොටගල වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චන්න ද කොස්තා මහතා සමග සිදුකළ දුරකථන සාකච්ඡාවේදී හදිසි ක්‍රියාමාර්ගයක් ලෙස එඩ්වඩ් මහතාගේ අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලබා දීමට කටයුතු කරන ලද අතර එම මුදල සංගමයේ උප සභාපති එස්.ඉලෙයරාජ් මහතා වෙත ලබා දීමට පියවර ගෙන තිබේ.
සී.සී.එඩ්වඩ් මහතාගේ අවසන් කටයුතු 2023.08.02 දින සවස 5.00 ට වටගොඩ වත්තේ, පවුලේ සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.