මවුන්ට්වර්නන් වත්තේ අනතුර
ලංවසේස මැදිහත්වීම ඵලදරයි
කොටගල වැවිලි සමාගම යටතේ පාලනය කෙරෙන කොටගල මවුන්ට්වර්නන් වත්තේ රියදුරෙකු ලෙස රැකියාව කළ, රාජකාරියේ නිරතවෙමින් සිටියදී ට්‍රැක්ටරය පෙරලීමෙන් මියගිය ලංකා වතු සේවා සංගමයේ සාමාජික සී.සී. එඩ්වඩ් මහතා වෙනුවෙන් සාධාරණ වන්දි මුදලක් සහ වෙනත් සහන ලබා ගැනීම පිළිබඳව සාකච්ඡාවක් මවුන්ට්වර්නන් වතුයායේ, කොටගල සාමාන්‍යාධිකාරීතුමාගේ කාර්යාලයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ලංකා වතු සේවා සංගමයේ සභාපති නිශාන්ත වන්නිආරච්චි, නියෝජ්‍ය සභාපති ධනුක විජයගුණරත්න, භාණ්ඩාගාරික එම්. සුදාගර්, උප සභාපති එස්.ඉලෙයරාජ්, දිඹුල ශාඛා සභාපති ඒ. අසෝගන්, හැටන් ශාඛා සභාපති එස්. මනෝහරන්, නුවර එළිය ශාඛා සභාපති එල්. ගනේෂන්, කොටගල නියෝජ්‍ය සභාපති යෝගේන්ද්‍රන් යන මහත්වරුන් සහභාගී විය.
ලංකා වතු සේවා සංගමයේ දැඩි ඉල්ලීම මත එඩ්වඩ් මහතා වෙනුවෙන් රුපියල් ලක්ෂ 40ක වන්දි මුදලක් ඒ මහතාගේ යැපෙන්නන් වෙත ලබා දීමට කොටගල වැවිලි කළමණාකාරිත්වය එකඟතාව පලකරන ලදි.
එම මුදලින් එඩ්වඩ් මහතාගේ දරු දෙදෙනාට ලක්ෂ 10 බැගින් ලක්ෂ 20ක් ද, ඔහුගේ භාර්යාව වෙත රුපියල් ලක්ෂ 20ක් ද ලබා දීමට පියවර ගැනෙන අතර භාර්යාවට හෝ එක් දරුවෙකු හට එම වතුයායේ රැකියාවක් ලබාදීමටත්, ඔවුන් පදිංචිව සිටින නිල නිවාසය ඔවුන්ට දිගටම ලබා දීමටත් කොටගල වැවිලි පාලනාධිකාරිය ලිඛිත පොරොන්දුවක් ලබා දුන් බව ප්‍රධාන ලේකම් රොබට් ෆ්‍රැන්සිස් මහතා කියා සිටියි.
මේ පිළිබඳව අදහස් දැක්වු සභාපති නිශාන්ත වන්නිආරච්චි මහතා, ඉතිහාසයේ විශාල වන්දි මුදලක් අපගේ සාමාජිකයෙකුගේ විපතකදී ලබාදීමට හැකිවීම සංගමයේ ජයග්‍රහණයක් බවත් එකමුතුව කටයුතු කිරීමෙන් ඕනෑම සටනක් ජයගතහැකි බවත් කියා සිටියේය.
https://www.facebook.com/photo/?fbid=796080225637189&set=a.596474555597758